මධ්‍යම පළාත් දහම් පාසල් තොරතුරු‍
දහම් පාසලේ/ගමේ නම  
දිස්ත්‍රික්කය  
ප්‍රාද්ශිය ලෙකම් කාර්යලය  

 

දහම් පාසල් අධ්‍යාපනයේ පරමාර්ථය පිරිපුන් මිනිසෙක්

 බුදුදහම යනු සැබවින් ම බුද්ධිගෝචර ආගමකි. ජීවිතය යහපත් ව ජය ගැනීම උදෙසා එමගින් ලැබෙන පිටිවහල අතිමහත්ය. බුදුදහම සියලු දෙනාටම සමානාත්මතාවයෙන් සැලකීම එහි ඇති සුවිශේෂීත්වයකි. එ නිසා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වාම එහි අවධානය යොමු වේ. ඒ අතරින් දරුවා හට බුදුදහම විශේෂ සැලකිල්ලක් දක්වනු දැකිය හැකි වේ. එම නිසාම බුදුන් වහන්සේ මිනිසාට ඇති උතුම් ම වස්තුව දරුවා ය, ‘පුත්ථා වත්ථු මනුස්සානං’ යනුවෙන් දේශනා කළ සේක. එබැවින් කුඩා කල පටන්ම ධර්මය, දරුවාට සමීප කළ යුතු බව මෙමඟින් පැහැදිලි වේ. මෙවන් කර්තව්‍යයන් සිදු කිරීම උදෙසා බොහෝ ආයතන වත්මන් සමාජය තුළ පිහිටුවාගෙන තිබේ. ඒ අතරින් ධර්මය අඩංගු පුස්තකාලයක් බඳු දහම් පාසල මෙහිලා අමතක කළ නොහැකිය.

“තාදිසං වපතේ බීජං
යාදිසං හරතේ ඵලං
කළ්‍යාණකාරී කළ්‍යාණං
පාපකාරීච පාපකං”

බුදු දහම තුළ විස්තර වනුයේ තමන් වපුරන දෙයට අනුකූල ව අස්වැන්න ලැබෙන්නාක් මෙන් යහපත් කටයුතු උදෙසා යහපත් ප්‍රතිඵල ද, අයහපත් කටයුතු සඳහා අයහපත් ප්‍රතිඵල ද ලැබෙන බවයි. එ නිසා යහපත් ප්‍රතිඵල උදා කරගැනීමට ශක්තිමත් අඩිතාලමක් තිබිය යුතුය. මිනිස් ජීවිතය වුව ද ජය ගැන්මට මූලික අඩිතාලම යහපත්, ශක්තිමත් බවකින් යුක්ත විය යුතුය. එනිසාම කුඩා කල පටන්ම දහම් පාසල් අධ්‍යාපනයට යොමු වීම වැදගත් වේ. යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා දහම් පාසල මහත් මෙහෙයක් ඉටු කරනු ලබයි.

දහම් පාසල යනු සැබැවින් ම බෞද්ධ අධ්‍යාපන ආයතනයකි. එහි මූලික අරමුණ වනුයේ රටට වැඩදායී, පිරිපුන් මිනිසකු බිහි කිරීමය. දහම් පාසල නොහොත් ධර්ම පාඨශාලාව පුද්ගල විනය පිරිපහදු කරන ආයතනයක් බව විද්වත් මතය යි. සැබවින් ම එහි කිසිදු වරදක් නොමැත. දහම් පාසලෙහි ඇති වටිනාකම එහි නිල ඇඳුමින් පවා පිළිබිඹු වේ. එමඟින් අපේක්ෂා කරනුයේ ද පිරිපුන් මිනිසකු බිහි කිරීමය. එනමුත් පිරිපුන් යන වචනය තුළ මහත් අර්ථයක් ගැබ්ව තිබේ. පරිපූර්ණ හෙවත් පිරිපුන් යනු සෑම අංශයකින්ම යහපත් තත්ත්වයට පත් වීමයි. එහිදී අධ්‍යාපනය, විනය, සදාචාරය ආදී බොහෝ අංශ විග්‍රහයට බඳුන් කෙරෙයි. දහම් පාසල තුළ සිදුවනුයේ ද එවන් වාතාවරණයක් සැකසීම නොවේද?

නජච්චා වසලො හොති
නජච්චා හොති බ්‍රාහ්මණෝ
කම්මනා වසලො හොති
කම්මනා හොති බ්‍රාහ්මණෝ”

කෙනෙකු උපතින් බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවන බවත් තම ක්‍රියා කලාපයන්ට අනුව එය තීරණය වන බවත් වසල සූත්‍රයේ සඳහන් වෙයි. ඕනෑම අයකු යහපත්ව සමාජයට දායාද කිරීම දහම් පාසලෙහි අරමුණයි. එසේ අයකු යහපත් වුවහොත් බ්‍රාහ්මණයකු වන බව බුදු දහමෙහි විග්‍රහයට බඳුන් කෙරේ. එසේ නම් ඕනෑම මිනිසකු බ්‍රාහ්මණයකු බවට පත් කිරීමට දහම් පාසල මඟින් මහත් මෙහෙයක් ඉටුවන බව එමඟින් පෙනී යයි. එබැවින් දහම් පාසල් අධ්‍යාපනය යහපත් මිනිසකුගේ අඩිතාලම බව මෙමඟින් පැහැදිලි වෙයි.

දහම් පාසල තුළින් පුද්ගල දිවියට ලැබෙනුයේ මහත් ආශිර්වාදයකි. එය දැනුම, විනය,සංස්කෘතිය, සදාචාරය සපිරි තෝතැන්නක් බව අවිවාදයෙන් පිළිගත හැකිය. පුද්ගල ආධ්‍යාත්මය ගොඩනැඟීමට එමඟින් ලැබෙන පිටිවහල අතිමහත්ය. ජීවිතය නමැති ඝෝර නිමේෂය සුපහන්විත කර ගැනීමට ධර්ම පාඨශාලාව කදිම නිදසුනකි. ජීවිත යථාර්ථය සහ එය පවත්වා ගත යුතු අන්දම දහම් පාසල මඟින් පුද්ගල සිතට ඒත්තු ගන්වයි. එසේ ම දහම් පාසල් සිය ගණනක් ඉදිකළහොත් සිරගෙවල් ද දහස් ගණනක් වැසී යනු නො අනුමානය. මන්ද පුද්ගල දිවිය ගොඩනැඟීමට දහම් පාසල බොහෝ බලපෑමක් එල්ල කරන බැවිනි. නොමිලයේ අධ්‍යාපනය ලබාදෙමින් නැණ-ගුණ නුවණ දියුණු කරන දහම් පාසලෙහි වටිනාකම මෙතෙක් යැයි කිසිවිටෙක පැවසිය නොහැකිය. මන්ද එය ඒතරමටම අනර්ඝ සම්පතක් නිසාවෙනි.

අධ්‍යාපනය මඟින් පුද්ගලයා තුළ සමාජය පිළිබඳ අවබෝධයක් මෙන්ම විනය, ශික්ෂාකාමීත්වය තුළින් යහපත් සමාජ පසුබිමක්ද නිර්මාණය වේ. මේ සඳහා නිදසුන් රැසක් සමාජය තුළින් හමුවන බව පැවසීමට කැමැත්තෙමි. මාර්ටින් වික්‍රමසිංහ නොහොත් “හෙළයේ මහා ගත්කරුවාණන්” ලෝක ප්‍රකට කතුවරයෙකි, විද්වතෙකි. හෙතෙම තම සාර්ථකත්වයට ඉවහල් වූ සාධක පසු කලෙක පාපොච්චාරණය කොට තිබිණි. එමඟින් පැහැදිලි වූයේ අන් කිසිවක් නොව ඔහු කුඩා කල පටන්ම දහම් පාසල් අධ්‍යාපනය ලබා ගත් බව ය. අවසන එමඟින් බිහි වූයේ නොසිතූ විරූ අන්දමේ යුග පුරුෂයකු නොවේද? එනිසා බොහෝ ශ්‍රේෂ්ඨයන් බිහි කිරීමට දහම් පාසල ප්‍රමුඛස්ථානයක් ගන්නා බව මෙමඟින් පැහැදිලි වෙයි.

කෙසේ නමුත් අද වර්තමානය වන විට මෙම තත්ත්වය බොහෝදුරට වෙනස් තත්ත්වයකට පත්ව ඇත. සැබවින්ම මෙය මහත් ශෝචනීය තත්ත්වයකි. එසේම මහත් විනාශයකට මූලාරම්භයක් ලෙස ද මෙය දැක්විය හැකිය. අද මෙවන් තත්ත්වයකට සමාජය ඇද වැටීමට බොහෝ සාධක බලපා තිබේ. කාර්මීකරණය, නාගරීකරණය හා ගෝලීයකරණය ඒ අතරින් ප්‍රධාන වේ. රටක සංවර්ධනයට එම සාධක අවශ්‍ය බව මනා ය. එ නිසාම කුමාරතුංග මුනිදාස ශූරීන් “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟියි” යනුවෙන් පවසා ඇත. එනමුත් එයින් ඔබ්බෙන් ඔබ්බට ම නොයා යුතුය එසේ වුව ද අද වර්තමානයේ සිදුව ඇත්තේ ද එය යි. මිනිසා-මිනිසා අතර මෙන් ම රටවල් අතරද ඇත්තේ මහත් තරඟකාරී බවකි. ඔවුන්ගේ අරමුණ අනෙකා පරයා නැඟී සිට ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගැනීම ය. එ නිසාම ධර්මය පිළිබඳව ඔවුහු තුළ තිබෙනුයේ අඩු අවධානයකි. අද වර්තමානය වන විට මෙම තත්ත්වය කුඩා දරුවා දක්වා පුළුල් පරාසයක ව්‍යාප්ත වී තිබේ. වත්මන් දරුවා තුළ ධර්මය පිළිබඳව කිසිම වැටහීමක් නොමැති තරම් ය. එසේම දහම් පාසල් අධ්‍යාපනය ලැබීමද ඔවුහු පැහැර හරිති. ඇතැම් විට මවුපියන් එම තත්ත්වය ඇති කරයි. මන්ද ඔවුන්ට දහම් පාසලට වඩා අතිරේක පන්ති වටිනා බැවිනි. නමුත් අවසානයේ විෂය කේන්ද්‍රීය දැනුම පමණක් සහිත ප්‍රචණ්ඩත්වය රජයන සමාජයක් බිහි වෙනු නිසැකය. මේ පිළිබඳව වරද එක් අයකුට පැටවිය නොහැකිය. එය මුළු මහත් සමාජයේම වරදකි.

එසේම දහම් පාසලේ මූලික පරමාර්ථය, අරමුණ පිළිබඳව සමාජයට නිවැරැදි වැටහීමක් නොමැති වීමද වත්මන් ශෝචනීය තත්ත්වයට ප්‍රබල සාධකයකි. කෙසේ නමුත් පළමුව දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත යුතු වේ. එමඟින් ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් බිහිවනු නිසැකය. එපමණක් නොව එවිට අපට මේ ලක් දෙරණ ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යාමට හැකිවනු නොඅනුමානය.

Copyrights 2015. All right reserved Department of Cultural Affairs Central Provincial Council