මධ්‍යම පළාතේ වලව් වල විස්තර
වලව්වෙ නම  
දිස්ත්‍රික්කය  
ප්‍රාද්ශිය කොට්ඨාශය  

.

  පැරැණි වලව් පැවති ගම් ඇතුලත් කව්‍ය සංග්‍රහය


කපුවත්ත වලව්ව

කි‍්‍ර.ව 1815 මාර්තු මස 02 දින අත්සන් කරන විට දළදා මාළිගාවේ දියවඩන නිළමේ වුයේ ඔහුයි. කපුවත්තේ මහා අදිකාරම්, පිළිමතලව්වේ විජේසුන්දර රාජකරුණා නවරත්න අත්තනායක බණ්ඩාරනායක මුදියන්සේ රාළහාමි හෙවත් පිළිමතලව්වේ දිව නිලමේ උඩගම්පහේ මහා අදිකාරම් ලෙසත් හැඳින්වේ. මෙම අදිකාරම් විවාහ වෙන්නේ කපුවත්තේ දියවඩන නිලමේ (ජ්‍යෙෂ්ඨ) ගේ දියණියක් සමඟයි. ඔහු ඇය හා විවාහ වීමෙන් පසු බිරිඳගේ වලව්වේම පදිංචි වන්නේ එම පවුලේ පිරිමින් නොසිටි බැවිනි. බිරිඳට සහෝදරයන් නොසිටි නිසා එම පවුලට අයත් සියඵම ඉඩකඩම් පිළිමතලව්වට ලැබුණි.  එපමණක් ද නොව ඌරපොළ වලව්ව ද ඔහුට අයත් විය. ඊට අමතරව මී ගොන් අරඹේ ද වලව්වක් තිබුණි. (වැව රවුමේ ස්විස් හෝටලය පිහිටා ඇත්තේ එතැනයි.)

ගිරාගම වලව්ව

මහනුවර යටිනුවර වීදියේ හා කොළඹ වීදිය දෙපැත්තට විහිදී යන ලෝක උරුම ලාංඡනය ස්ථාපිත කළ ගොඩනැගිල්ල වසර 300ක් පමණ පැරැණිය.

සිංහල රජ සමයේ ගිරාගම වලව්ව ලෙස හැඳින් වූ මහනුවර ඇති පැරැණිම ගොඩනැගිල්ල ද මෙය වේ.

මුල් අයිතිකරුවන්ගෙන් මිලදී ගත් මේ ගොඩනැඟිල්ලේ ව්‍යාපාරික ස්ථාන පහකි.

ඇහැලේපොළ වලව්ව

ඇහැලේපොළ මහා අධිකාරම් ඉපදී හැදී වැඩුණු ඇහැලේපොළ ගම පිහිටා තිබෙන්නේ මාතලේ සිට 18kmක් පමණ දුරිණි. එනම් උතුරු මාතලේ උඩුගොඩ උඩසියපත්තුවේය. ක්‍රි.ව.1881 දී සිදුකර ඇති සංගණනනයට අනුව එහි පුද්ගලයන් 302ක් පමණ ජීවත්ව සිට ඇත. මෙය කුබුරු , පොල් , කෝපි වතු වලින් පිරි මනරම් සුන්දර ප්‍රදේශයකි.

ඇහැලේපොළ නම සැදී ඇති ආකාරය පිළිබදව ජනප්‍රවාදයේ පවතින කතා කිහිපයකි. වර්තමානයේ දක්නට නොලැබුණ ද, ඈත අතීතයේ පොර පොල් කෙළිය නමින් ක්‍රීඩාවක් පැවතුණි. මෙය පවත්වන්නේ දෙදෙනෙකු අතරය. ඔවුන් කිසියම් දුරක සිට ලෙල්ල ඉවත් කරන ලද පොල් ගෙඩි වලින් ප්‍රතිවිරුද්ධවාදියාගේ පොල් ගෙඩි බිද දැමිය යුතුයි. වැඩියෙන් බිද දමන පුද්ගලයාට ජය හිමි වේ. ජනප්‍රවාදයට අනුව මෙම ක්‍රීඩාවට දක්ෂ කුමාරයෙක් ඇහැලේපොළ අධිකාරම්ගේ මුතුන්මිත්තෙකුට , හැකිනම් තමා පරාජය කරන මෙන් අභියෝග කර ඇත. ඒ සෑම අවස්ථාවකදීම කුමාරයා පරදින්නේය. මේ ආකාරයෙන් තමා පරදින්නේ ඇයිද යන්න රහසිගතව සොයා බලන ලදී. එහිදී පෙනී ගොස් ඇත්තේ ඉතාමත් සුපරික්ෂාකාරීව හොදින් පරික්ෂා කළ ද කිසිවෙකුටත් නොපෙනෙන ආකාරයෙන් ඉතාමත් සියුම් ලෙස පොල් ගෙඩියක හැඩයට ඇහැළ ගසක මුලකින් පොල් ගෙඩියක් නිර්මාණය කර තිබීමයි. ඇහැළ මුලෙන් සාදන ලද පොල් ගෙඩිය අයිති නිළමේ යන තේරුම ලබාදීමට ඒ නම සෑදී ඇති බව ඉන් කියැවේ.

තවත් කතාවක් නම්, ලේ පොලක් (ලේ ලපයක්) සුව කළ නිසා බවයි. කුමාරිකාවකට වැලදී තිබූ නිදන්ගත රෝගයක් සුව කිරීම සදහා ඇසක් ගලවා දේව උදහස නැති කිරීමට පූජා කළ නිසා ඇහැලේපොළ යන නම භාවිතයට පැමිණ ඇති බව තවත් මතයකි. මොහුගේ නිවස සාදා තිබු ස්ථානයේ ඇහැළ ගස් කිහිපයක් තිබුණ බැවින් එම ගමත් පසුව මොහුගේ පවුලත් ඇහැලේපොළ නමින් හැදින්වෙන්නට ඇතැයි විශ්වාසයක් පවතී.

ඇහැලේපොළ පවුලෙහි ආරම්භය පිළිබදව රසවත් කතා කිහිපයකි. ඉන් එකක් වනුයේ නක්ෂත්‍රය හොදින් දැනගෙන සිටි තරුණ වයසේ ගමරාළ කෙනෙකු ගැනයි. දවසක් ගමෙහි යුවතියක් තම කේන්ද්‍රය පරීක්ෂා කර ගැනීම සදහා ඔහු ළගට පැමිණියාය. එම කේන්ද්‍රය පරීක්ෂා කිරීමේදී එම යුවතිය සමග විවාහ වන තැනැත්තා ඉදිරියෙන් කස කරුවන් යාමට තරම් බලවත් පුද්ගලයෙකු වන බව ඔහුට පෙනී ගියේය. එම නිසා ඇය තමාගේම භාර්යාව කරගැනිමට සිතා කේන්ද්‍රය බලා පැවසීමට ටික දිනක් අවශ්‍ය වන නිසා පසුව පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. කේන්ද්‍ර පිටපත ලැබෙනවිට තම භාර්යාව ලෙස ඇයගේ කැමැත්ත ලැබී අවසානය.ඇයගේ වාසනාව නිසා ගමරාළත් ඔහුගේ පරපුරත් පෙරහැරේ කසකරුවන් පිරිවරා ගෙන යන තරම් බලවත් පුද්ගලයෝ වූහ.

තවත් කතාවක්නම් දෙවෙනි රාජසිංහ රජු පෘතුගීසීන් එළවා දැමීම සදහා ඔවුන් සමග සටන් කළේය. රන්දෙණිවෙලේ සටනේදී
පහතරට සේනාංකයේ සිටි දොන් කොස්මෝ වීරසේකර රජුට සහය පළ කර සටන් කළේය. ඔහු මෙම පවුලේ ආරම්භකයා ලෙස ද පැවසේ.

ඇහැලේපොළ මහ නිළමේ උපත ලබා ඇත්තේ ක්‍රි.ව.1773 වසරේ මාතලේ ඇහැලේපොළ වලව්වේදීය. ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ යනු ඔහුගේ සම්පුර්ණ නමයි. පුංචිරාළ යන නමින් ද ඔහුව හදුන්වා ඇත. මොහුගේ පවුලේ සාමාජිකයන් දෙවන රාජසිංහ (ක්‍රි.ව.1635-1687) රජ කාලයේ සිටම උඩරට රාජ්‍යයේ ඉහළ නිළතල දරා ඇති බව සදහන් වේ.

1812 මාර්තු මස 18 වන දින ඩොයිලි විසින් ලියන ලද ලිපිවල ඇහැලේපොළ අදිකාරම් ගැන බොහෝ තොරතුරු සදහන් වේ. ඇහැලේපොළ පවුලට අයත් වලව් කිහිපයකි. මාතලේ ඔහු ඉපදුණු ඇහැලේපොළ ගමේ වලව්වට නුදුරින් පල්දෙණියේ ද විශාල වලව්වක් නිළමේ විසින් ඉදිකර ඇත. එම වලව් වත්තේ පොල් පැළ සිටවා වල අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට වත්ත වටේට දිය අගලක් ද සාදවා ඇත. එම නිවසේ මිනිසුන් දෙසීයකට පමණ තරම් පිරිසකට නැවතීමට ඉඩ තිබූ අතර ඒ කාලයේ උඩරට එවන් වලව්වක් දක්නට දක්නට නොලැබුණ බව ද සදහන් වේ. ඊට පසු තවත් වලව් දෙකක් සැදීමට සියලු කටයුතු සූදානම් කලද එක භූමියක් ඊට නුසුදුසු බව හැගී ගිය බැවින් සහ අනෙත් වලව්ව සබරගමුවේ දිසාව තනතුර ලබා එහි යාමට සිදු වූ බැවින් අතහැර දැමීමට සිදුවිය.

මාතලේ ඇහැලේපොළ ගමේ පිහිටි ඇහැලේපොළ මහා නිලමෙට අයත් වලව්වේ වත්මන් අයිතිකරු වනුයේ දුල්ලැවි පරපුරේ මාලතී මෙලනි උදලාගමගේ පියාය. ඔහු මේ වන විට ජිවිතුන් අතර නැත. ඇයගේ පියා ක්‍රි.ව.1946 වසරේදී එතන අලුතින් නිවසක් සද ඇත. එහි ඉදිරියෙන් තරමක් විශාල ප්‍රමාණයේ ජලාශයක් දක්නට ලැබේ. ඇහැලේපොළ නිළමේ වලව්ව සැදීම සදහා මැටි හාරාගත් ස්ථානය පසුව වැවක් ලෙස භාවිතයට පැමිණ ඇති බව මතයකි.

ඔහුට මහනුවර නගරයේ ද වලව් කිහිපයකි. ඉන් එකක් දළදා වීදියේ වත්මන් රැජිණ හෝටලය හා HNB බැංකුව පිහිට ඇති ස්ථානයේ ද, තවත් වලව්වක් ඩි.එස්. සේනානායක වීදියේ ස්කොට්ස් කර්ක් දේවස්ථානයේ ද අනෙක වර්තමානයේ රිමාන්ඩ් බන්දනගාරය ලෙස භාවිතා කරන ලද ගොඩනැගිල්ල ද වේ. පසු කාලීනව එම පවුලේ සියලු දෙනාටම අවාසනාව ළගා වන්නේ ඉහත අවසානයට සදහන් කළ වලව්වේ ජීවත්වෙමින් සිටියදීය. සිංහල උළු සෙවිලි කර ඕලන්ද ක්‍රමයට ආරුක්කු හා කණු වලින් නිර්මාණය කර සදා තිබූ මෙම වලව්ව එවකට ස්වර්ණ කල්‍යාණ විදියට මුහුණලා මාලිගා භුමියේ පිහිටා තිබුණි. වර්තමානයේ එම වීදිය හදුන්වනු ලබන්නේ රජ වීදිය නමිණි. මහනුවර නගරයේ පැරණි වලව් අතරින් තරමක් දුරට හෝ ආරක්ෂා සහිතව පවතින එකම ගොඩනැගිල්ල ද මෙය වේ. ඉංග්‍රීසීන් විසින් වලව්ව බන්ධනාගාරයක් ලෙස පත් කළ ද රජ දවස තිබූ සමහර දේ අදට ද එහි ඉතිරිව පවතී. මැද මිදුල, දැවමය දොර, උළුවසු, ලී කණු, යකඩ සේප්පුවක් ඉන් සමහරකි. එහෙත් සබරගමුවේ දී අධිකාරම් විසින් රජුට තෑගි කිරීම සදහා රත්‍රන් කඩුව, ඔටුන්න පමණක් නොව ඇදන් ද සාදා තිබෙන බවට දැනගන්නට ලැබේ.

සිංහල දේශය බුද්ධාගම පණ මෙන් රැක ගැනීමට යත්න දැරූ ඇහැලේපොළ අධිකාරම්ගේ අවසානය ලක් දෙරණේ සිදුනොවීම අවාසනාවන්ත කරුණකි. කෙසේ වුව ද ඇහැලේපොළ පවුලට අයත් වලව් අතර ඇහැලේපොළ වලව්ව ප්‍රමුඛ ස්ථානයක් ගනී.

මඩුවන්වෙල වලව්ව

මඩුවන්වෙල මහා දිසාව කාමර එකසිය විසි එකකින් සහ මැද මිදුල් විසි එකකින් යුත් මඩුවන්වෙල වලව්ව තැනීමට තෝරා ගත්තේ මෙම මඩුවන්වෙල නින්ද ගමයි. එහි මුදුනෙහි මඩුවන්වෙල වලව්ව ලෙස කොටා ඇත. වලව්වේ පෝටිකොවෙහි ගඩොල් වෙනුවට අල්ලා ඇත්තේ එංගලන්තයෙන් ගෙන්වන ලද වික්ටෝරියා සමයේ පිඟන් කැබලිය. එම පිඟන් කැබලි වලින්ම 1st JANUARY 1905 GOOD LUCK යනුවෙන් සටහන් කර ඇත. මහා දිසාව විසින් නඩු අසන ලද අධිකරණ ශාලාව, භෝජනශාලා , අමුත්තන්ගේ කාමර, ලැගුම් ගෙවල්, කුමාරිහාමිගේ කාමර, සේවක සේවිකාවන්ගේ කාමර, ඔවුන් සඳහා වූ මුළුතැන් ගෙවල්, නාන කාමර, යුධ ගබඩාව, විවේකාගාර සහ මහා දිසාවගේ සහනාගාරය ආදී විවිධ කාමර වලින් මඩුවන්වෙල වලව්ව සමන්විත විය.

මඩුවන්වෙල වලව්වේ ආලින්දය ඇතුළු කාමර බොහෝමයක පිගන් ගඩොල් වෙනුවට අල්ලා ඇත්තේ වික්ටෝරියා මහ රැජිණගේ රුව සටහන් වූ පිඟන් කැබලිය. ඉංග්‍රීසි අධිරාජ්‍ය යටතේ මහ දිසාව තනතුරක් දැරුවත් තමන් ද තමන්ගේ සේවකයන් ද නිවසට ඇතුළු වන ඕනෑම කෙනෙකු වික්ටෝරියා මහ රැජිණගේ රුව පෑගීමෙන් ඔහු කිසියම් අධිරාජ්‍ය විරෝධී වින්දනයක් ලබන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ.

මඩුවන්වෙල පරපුරට පැවරුන ප්‍රධාන නිල කාර්යය වුයේ උඩරට රජ වාසලට අවශ්‍ය කෙටේරි, කඩු, දුනු, ඊතල, තුවක්කු, ආදිය සැපයීමය. මේ නිසාම ඔවුනට කොඩිතුවක්කු යන නාමය ද ලැබිණි.

රටට තර්ජනයක් වූ ඕලන්දකරයින්ගෙන් උඩරට පමණක් නොව පහතරට බේරා ගැනීමට අධිෂ්ඨානය කළ බුද්ධිමත් නරදෙටුවෙකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු උවේ, සබරගමුවේ, රුහුණෙත් දේශප්‍රේමී සිංහලයන්ගෙ සහයෝගයෙන් ක්‍රි. ව. 1760 මාර්තු 15 දින දියත් කළ කටුවන මාතර ගමන සිංහල සෙබළුන්ගේ රණකාමිත්වය අපුරුවට හෙළි කළ අවස්ථාවක් විය.

ඉතා බුද්ධිමත් ලෙසත් දක්ෂ ලෙසත් සටන් කර මෙම ලන්දේසි බලකොටුව බිඳ දැමු සිංහල සේනාව මෙහෙය වුයේ අභීත සෙන්පතින් කීප දෙනෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේත් බ්‍රහ්මණ වංශික මුන්වත්තේ මහා අධිකාරම්තුමාගේත් එඩිතර මාර්ගෝපදේශකත්වය යටතේ මෙම සිංහල බල සෙනඟ මෙහෙය වූ නායකයින් නම්,
1.කිරිඇල්ලේ ජයසුන්දර.
2.අකුරුමිමාටුගල අභයනායක කුරුප්පු
3.ඇමිටියාගොඩ ගුණතිලක අලහකෝන්
4.මාකඳුරේ ධර්මාලංකාර
5.පනාමේ වික්‍රම දසනායක
6.බුලුවානේ ඒකනායක
7.උඩගම රාජපක්ෂ
8.කලවානේ ධර්මාලංකාර
9.වෙලගේ වීරසිංහ
10.පුවක්ගස් ආරාවේ විජයකෝන්
11.කොලොන්නේ රත්නායක
12.මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදලි

කටුවන මාතර ලන්දේසි බලකොටුව බිඳ දැමීමට ගිය සිංහල හමුදා බල සෙනගට කෑම බීම ආදියෙන් ඉතා උසස් ලෙස සංග්‍රහ කිරීම නිසාත් සිදු කළ සේවාව අගය කරමින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් 1761 නොවැම්බර් 05 වැනි දින පැවති උත්සවයකදී මඩුවන්වෙල මුදලිදුට ද වලකඩ ග්‍රාමය නින්ද ගමක් වශයෙන් පවරා දෙන ලදී.

මඩුවන්වෙල මහා දිසාවගේ කුඩා කාලය මුළුමනින්ම පහේ ගෙවී ගියේ දෙමාපිය සෙනෙහසකින් තොරවය. ඔහු ඉපදුනේ 1844 සැප්තැම්බර් මස 11 දිනය. ඔහුගේ පියා මිය ගියේ මෙතුමා ඉපදෙන්නට මාස 3 ට කලින්ය. ඔහු ඉපදී දින 7 න් මව මිය ගියේය. මඩුවන්වෙල කුඩා කාලයේ සිටම ඇති දැඩි කලේ ඔහුගේ පියාගේ මව වූ එනම් මඩුවන්වෙල ගේ මිත්තණිය විසිනි. ඇය බලංගොඩ රත්වත්තේ වලව්ව හා සමීප ඥාති සම්බන්ධතා ඇති තැනැත්තියක වුවාය. කොළඹ ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය හැදෑරු මොහු ඉංග්‍රීසි භාෂාව සඳහා නිපුණත්වය දැරුවෙකි. සතර පොහොයට පෙහෙවස් රැක ආගමානුකුල ජිවිතයක් ගෙවූ ඔහු දැඩි ආගම් භක්තිකයෙකු ද විය. ඒ නිසාම ඔහු වලව්ව ආසන්නයේ පිහිටි මුදලින්දාරාම විහාරයට බෙහෙවින් අනුග්‍රහය දක්වමින් එහි නඩත්තුව සඳහා ඉඩකදම් ද පුජා කළේය.

දොස්තර ආර්. එල්. ස්පිටල් මඩුවන්වෙල මහා දිසාව ඉතා සමීපයෙන් ඇසුරු කළ අයෙකු විය. ඔහුගේ එක ග්‍රන්ථයක මහා දිසාව ගැන මෙසේ ලියා ඇත.

නිවස වටා දැවැන්ත වෘක්ෂයෝ වූහ. ඒ අතර ප්‍රකාරයකින් වට කළ බෝධියක් ද විය. පොල්තෙල් පහන් දැල්වීම සඳහා ප්‍රාකාරයේ සිදුරු සාදා තිබු අතර ගස මුල කළුගල් මුලසුනක් ද විය. අපි ගෙට ඇතුළු වීමු. එහි නිරාවරණය වූ මැද මිදුලේ කිරිගරුඬ ප්‍රතිමාව විය. මිදුල සතරැස් වර්ණයකි. ඇතුළු කාමරයක වූ පැරණි ලී ඇඳක රටේ මහතා වැතිර සිටියේය. එය ඔහු උපත ලද ඇඳ වීය. ඔහුට අධික ලෙස උණ ගැනී ඉදිමී තිබු අතර පයක් ඉදිමී තිබුණි. අතිශය බරපතල ලෙස රෝගාතුරව සිටි ඔහු කතා බහ කලේ ඉඳහිටය. ඔහු මර ඇඳේ සිටින බව පැහැදිලිය. නිර්වින්දන නොමැතිව ඔහු ශල්‍යකර්මයට ඉදිරිපත් විය. ම සිතුවාට වඩා වැඩි කාලයක් එනම් ශල්‍යකර්මයෙන් පසු මාසයක් පමණ ඔහු ජිවත් විය. පැරණි කඩු, හෙල්ල කිණිසි ආදිය සාලය පුරාම විය. දුලබ ගණයේ පින්තුර බිත්ති වල එල්ලා තිබුණි. සියඹලා, කළුවර, බුරුත ආදී වටිනා ලින් කැටයම් කළ ගෘහ භාණ්ඩ එහි විය. එක් මේසයක් කොස් ලී රවුමකින් සාදා වටේට කරුවල ලීයකින් කැටයම් කළ එකකි. එය මඩුවන්වෙලගේ සියා වන කොඩිතුවක්කු නිලමේ විසින් ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ චන්ඩිග්රාප්ට සංග්‍රහ කිරීමට පාවිච්චි කළ එකකි. රාජසිංහ රජුගේ මාලිගාවෙන් කොල්ලකා ගත් භාණ්ඩ සමුහයක් ද ඒ අතර විය. රජුගේ රිදී පිගන් පීරිසි කෝප්ප, රන් බුලත් හෙප්පුව, රැජිණගේ තැල්ල, ඇහැලේපොළ අධිකාරම්ගේ සැරයටිය ආදියද ඒ අතර විය.

එක්දහස් නවසිය තිහේ සැප්තැම්බර් මස හයවෙනි දින උදා විය. මඩුවන්වෙල මහා දිසාව බෙහෙවින්ම ගිලන් වී සිටියේය. මඩුවන්වෙල මහ වලව්ව ආසන්නයේ පිහිටි මුද්ලින්දරම විහාරයේ කෑගල්ලේ ශ්‍රී සාරානන්ද හිමියන් සහ තවත් හිමිවරුන් තිදෙනෙක්ද ගිලන්ව සිටි මහා දිසාව දැකීමට වලව්වට වැඩම කළේය. දිග ඇඳි පුටුවක වාඩි වී සිට මහා දිසාව පැදුරක් එල එහි වාඩි විය. හිමිවරුන් සතර දෙන බණ කියන්නට වූහ. මොහොතින් මොහොත දිසාවගේ මුහුණ මැලවෙන්නට විය. එක් මොහොතකදී ඔහු අතින් සංඥාවක් කර බණ කීම නතර කරන ලෙස පැවසීය. පසුව ඔහු නිවසේ සේවකයෙකු කැඳවා කාමරයක ඇති පුජා භාණ්ඩ ගෙනැවිත් පැදුර මත තබන ලෙස පැවසීය. ඒවා පට රෙද්දකින් වසා කෑගල්ලේ ශ්‍රී සාරානන්ද හිමියනට පුජා කළේය. හිමිවරු පිරිත් සජ්ජායනය කරන්නට වුහ. මහා දිසාපති අත් බැඳගෙන එයට සවන් දෙන්නට විය. මොහොතකින් ඔහු අත් බැඳගෙනම පැදුර මත දිගා විය. එය මඩුවන්වෙල මහ දිසාවගේ ජිවිතයේ අවසානය විය.

මඩුවන්වෙල මහ දිසාව විවාහ දෙකක්ම සිදුකර ගත්තත් ඔහුට පිරිමි දරුවන් නොවීය. පළමු විවාහයෙන් ලැබුණු එකම දියණිය ද අබ්බගාත දරුවෙක් විය. ඇයද 1962 දී මිය ගියේය. මඩුවන්වෙල වලව්වේ මෙන්ම මඩුවන්වෙල පරපුරේ අවසානය මෙසේ සනිටුහන් විය.

 

කැප්පෙටිපොල වළව්ව

කැප්පෙටිපොළ මහ වලව්ව

" කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි. "

 

1818 ජාතික විමුක්ති අරගලයේ වීර සෙන්පතියා වූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව දැයෙන් සමුගෙන ලබන නොවැම්බර් මස 26 වැනි දිනට වසර 195ක් පිරේ. 1817-1818 ඌව වෙල්ලස්ස කැරැල්ල සහ කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස ගසා දැමූ මොහොත පිළිබඳ පුවත ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සිය අවසාන කාලයේ දී ජීවත්වූ දැනට මාතලේ හුලංගමුවේ පිහිටි ‘‘කැප්පෙටිපොළ මහා වලව්ව’’ පෞරාණිකත්වය සුරැුකෙන අයුරින් සංරක්ෂණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

ඓතිහාසික සිද්ධි රැසක ක්ෂේම භූමියක් වූ මාතලේ පුරවරයේ සෞන්දර්යාත්මක පරිසරයකින් යුතු හුලංගමුව ගම්මානයේ පිහිටි මේ මහ වලව්ව මොණරවිල

වීර කැප්පෙටිපොළ මහ දිසාව

කැප්පෙටිපොළ දිසාව මාතලේ දිසාව භාරව රාජකාරි කරද්දි ඉදිකරන ලද්දකි.

හුලංගමුව ගමේ පර්චස් 120ක පමණ භූමිභාගයක ඉදිකර තිබෙන මෙම වලව්ව කාමර 16කින් යුක්තය. හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපැයුම් මෙහි දක්නට තිබේ. 18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප‍්‍රදාය මෙහි පිළිඹිබු කරයි.

මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30ක් පමණ වන අතර දිගින් හා පළලින් අඩි 40 සහ 25 බැගින් වේ. බිත්තියක ඝණකම අගල් 16ක් පමණ වෙයි. සිමෙන්ති භාවිතයක් නොකර මැටි බදාම විශේෂයක් මගින් බිත්ති බැඳ තිබේ. වටිනා දැව යොදා වහලය සහ දොර ජනෙල් සාදා තිබේ. සුවිශේෂ ගෘහ නිර්මාණ රටාවකින් නිර්මාණය කර තිබෙන මේ වලව්ව දෙමහල් ගොඩනැගිල්ලකි.

වලව්වේ උඩුමහල සඳලූතල දෙකකින් සමන්විතය. උඩුමහලේ බිම දැවවලින් සාදා ඇත. එක සඳලූතලයක ආරක්ෂිත වැට නිර්මාණය කර ඇත්තේ වටිනා දැවවලිනි. ප‍්‍රධාන ගොඩනැගිල්ල දෙපසින් හා පිටු පසින් ඉහළ මහලයට පිවිසීමට පියගැට පෙළ දෙකකි. ඒවා ඉතාමත් සිත් ගාන්නා සුළුය.

මෙම ගොඩනැගිල්ලේ පිවිසුම අශ්වලාඩමක හැඩයෙන් සාදා නිමකළ ප‍්‍රධාන දොරටු දෙකකි. බරාදයෙන් විසිත්ත කාමරයට පිවිසීම සඳහා දැවයෙන් නිම කළ දෙපියන් දොරටු දෙකකි. විසිත්ත කාමරය දිගින් අඩි 40ක් සහ පළලින් අඩි 15ක් පමණය. මෙහි හරි මැදින් බිත්ති ආරුක්කුවක් නිර්මාණය කර තිබේ. ඒ අසල කෑම කාමරයක් වෙයි. දොරටු දෙකකින් කෑම කාමරයට ඇතුළු විය හැකිය. මේ කෑම කාමරේ දිග පළල විසිත්ත කාමරේ දිග පළලට සමානය.

කැප්පෙටිපොළ දිසාව මෙම කෑම කාමරේ දී අලි ඇතුන්ට ද ආහාර දී තිබේ. පළමු අදියරේ ගොඩනැගිල්ලේ දර්ශනීය වහල සහ මැද මිදුල නිසා කැප්පෙටිපොළ මහ වලව්වේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පිළිබිඹු කරයි.

මේ ඓතිහාසික වලව්වේ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ පරපුරේ 6 වැනි පරම්පරාව අදත් ජීවත් වෙයි. 6 වැනි පරපුරේ මිණිබිරියන් තිදෙනෙකි. සුජාතා වජිරා කුමාරි කැප්පෙටිපොළ මහත්මිය 1989 දී මියගොස් ය. මන්ත‍්‍රිනී මැණික් කුමාරි කැප්පෙටිපොළ (69) සහ ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ (68) යන අක්කා නගෝ දෙදෙනා ජීවතුන් අතර සිටිති.

ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ මහත්මිය සිය සැමියා වන වින්ඞ්සර් හුලංගමුව මහතා සමග මේ මහ වලව්වේ අද ජීවත්වෙති. මේ පරපුරෙන් බිහිවුණු ඥාතීහු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සහ විදේශගතව සිටිති.

ඌවxවෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොළ මහදිසාව අනුරාධපුර පිහිටි බි‍්‍රතාන්‍යයන්ගේ යුද කඳවුරේ සිටි ලෙප්ටිනන්ට් විලියම්  ඕනිල්ට ඔත්තුවක් ලැබී කහල්ල ගම් පියසේ දී 1818 ඔක්තෝබර් මස 23 වැනිදා බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අත්අඩංගුවට පත්විය. නොවැම්බර් මස 26 වැනිදා කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ නිළමේ බෝගම්බර වැව අසල දී හිස ගසා මරා දැමීමට නියම විය.

 

ලීයෙන් නිමකළ සඳලූතලය

 

කැප්පෙටිපොළ දිසාව නිරතුරුව තම ඉණෙහි සඟවගෙන යන පුස්කොළ පොතක ලියන ලද කුඩා ධම්මපද ගාථාවක් භාවිත කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. නොවැම්බර් මස 26 වැනිදා උදෑසන කැප්පෙටිපොළ දිසාව දළදා වහන්සේ වැඳපුදා සිය තුප්පොට්ටිය දළදා සමිඳුන්ට පූජා කළේය. කැප්පෙටිපොළ මහ දිසාව ධම්ම පදය අතට ගෙන එහි පේලි කීපයක් කියවා කඩුව අමෝරා ගෙන සිටි වධකයා දෙස බලා ‘‘බොල එක කඩු පහරින් මගේ ගෙළ සිඳ දමව’’ කියා ඉතිපිසෝ භගවා අරහං යන බුදුන් වැඳීමේ ගාථාව කියවූ බවත්, අරහං පදය ඔහුගේ මුවින් නිකුත්වත්ම කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස වධකයාගේ කඩු පහරින් වෙන් වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි.

කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස් කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී 1954 නොවැම්බර් 26 වැනිදා යළි ලංකාවට ගෙනවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභියස තැන්පත් කර එහි ස්මාරකයක් ඉදිකර තිබේ.
කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි.

කැප්පෙටිපොළ පරපුරේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල පළමු කාණ්ඩය ග‍්‍රන්ථයෙහි සඳහන් වන අන්දමට මොණරවිල වලව්ව ඉංග‍්‍රීසීන් රාජසන්තක කර තිබේ. පසුව ඉංග‍්‍රීසින්ගේ උදහසට ලක් වී කැප්පෙටිපොළ මහ දිසාවගේ දේපල විනාශ කර දමා තිබේ. මොණරවිල ග‍්‍රාමයේ ඒ මහා වලව්වේ ගල් කණු කීපයක් පමණක් අදත් දක්නට තිබේ.

 

වලව්වේ ජීවත්වන ධනරංජනී කැප්පෙටිපොළ මහත්මිය සිය සැමියා සමග

 

මේ ඓතිහාසික වලව්වේ වටිනාකම ගැන ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා රජයේ අවධානයට යොමු කර ඇත. නිවාස, ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා ඇමැති විමල් වීරවංශ මහතා ද මෙම වලව්ව පසුගියදා නිරීක්ෂණය කළේය. මේ මහ වලව්ව අනාගත පරපුර වෙත සංරක්ෂණය කර පෞරාණික තත්ත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කරන මෙන් ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ මහත්මිය වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් ද කරන්නීය.

 

මැද මිදුල

 

 

Copyrights 2015. All right reserved Department of Cultural Affairs Central Provincial Council